අසිරිමත් කොඩිගහකන්ද ... 1 පියවර

 අසිරිමත් කොඩිගහකන්ද ...1 පියවර


කොඩිගහකන්ද කියන්නෙ සොබාදහමේ විස්මිත නිමැවුමක් මේ ඒ් ගැනයි...

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ තවමත් එකම ප්‍රජා සංරක්ෂිත අභයභූමිය කොඩිගහකන්ද ප්‍රජා සංරක්ෂිත අභයභූමියයි. කොළඹ - කළුතර දිස්ත්‍රික් බෙදුම් රේඛාව ආසන්නයේ පිහිටි කොඩිගහකන්ද පරිපාලනමය වශයෙන් අයත්වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔළබොඩුව උතුර ග්‍රාම නිලධාරී වසමටයි.  ඉංග්‍රීසි පාලන සමයේ ශ්‍රී ලංකාවේ මැණුම් කටයුතු හා සිතියම් සකස් කිරීමේ දී කොඩිගහකන්ද කදු මුදුන ත්‍රිකෝණමිතික ස්ථානයක් ලෙස භාවිතාකර තිබෙනවා. 


මෙම ඡායාරූපයෙන් දිස්වන්නේ එම ත්‍රිකෝණමිතික ස්ථානයයි

මෙහි මධ්‍යයේ වූ කුහරයේ ඈතට දිස්වනසේ කොඩියක් සිටුවා තිබුන හෙයින් කොඩියක් සහිත කන්ද කොඩිගහකන්ද ලෙස භාවිතයට පැමිණ ඇත. ප්‍රදීපාගාර නොතිබුන යුගයේ මෙම කොඩිය ඉන්යන් සාගරයේ යාත්‍රාකරණ නැව්වලට කොළඹ වරාය සොයා ගැනීමට මග පෙන්වූ බව පැරැන්නන් විසින් පවසනු ලබයි.

ඉතිහාසගත පසුබිම

කොඩිගහකන්ද අයත් අක්කර 1000 ක භූමිය 19 වන සියවසේ මැදභාගයේ දී චාල්ස් හෙන්රි ද සොයිසා මහතා විසින් පළමුව කෝපිවගාව ද එය අසාර්ථක වීමෙන් පසු පොල්වගාවද අරඹා ඇත. අක්කර 50 ක වැනි කොටසක රබර් වගාව ද පැවතුනි. ඒවකට ශ්‍රී ලංකාවේ ඉහළම ධණකුවේරයෙක් වූ චාල්ස් හෙන්රි ද සොයිසා මැතිතුමා පිළිබදව සැකසුන කෙටි වාර්තා චිත්‍රපටියක් පහතින් නැරඹිමට ඔබට හැකිය. 

https://youtu.be/IEWGKCKRrOY මෙම සබැදිය භාවිතයෙන් ඔබට එය නැරඹිය ැකියි.


කොඩිගහකන්ද හා චාල්ස් හෙන්රිද සොයිසා පිළිබදව සැකසුන වීඩියෝවක් මෙම සබැදිය හරහා නැරඹිය හැකිය
https://youtu.be/T8Uf25MCMMA


ඔවුන් විසින් කදු මුදුන් වනාන්තර කුට්ටි ලෙස පවත්වාගෙන ගියේ සතුන් සිව්පාවුන්ට ද ජීව්ත්වීමට ඇති අයිතියට ගරු කරමිනි. 
1972 දී එවකට පැවති ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ආ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හරහා එක් පුද්ගලයෙකුට පවත්වාගෙන යා හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 50 කට සීමා විය. අක්කර 1000 ක මෙම විශාල වතුයායේ විනාශය ද ඒ් සමගම සනිටුහන් විය. කොඩිගහකන්ද වනාන්තරය සහිත අක්කර 50 එම පවුලේ පාදිලි උන්නාන්සේ නමින් ප්‍රසිද්ධ එංගලන්තයේ පදිංචි පුද්ගලයාට හිමිවිය. ඔහු එය විකුණා දැමූ අතර එය මිලදී ගත්තේ අමාරිස් විතානගේ මහතා විසිනි. 
මෙම පරපුරේ මී මුණුපුරෙකු වූ රොහාන් ද සොයිසා මහතා තම කුඩා අවධියේ සිට තම දෙමව්පියන් සමග නිතර ආගිය ස්ථානයක් වුයේ ඔළබොඩුව වතුයායයි. තමන් තුළ සොබාදහමට තිබූ අසීමිත ඇල්ම නිසාම ඔහු කොඩිගහකන්දට තම පණ මෙන් ආදරය කළේය. මෙම රමණීය අයස්කාන්ත වනභූමිය තම මුතුන් මිත්තන් සතුන් සිව්පාවුන් වෙනුවෙන් වෙන් කළ ස්ථානයක් හෙයින් ද තමන් නිතර පැමිණ කුරුල්ලන් ඇතුළු සතුන් සිවිපාවුන් නැරඹු ස්ථානයක් හෙයින් ද තම පවුලෙන් පිට කෙනෙකුට මෙම වනාන්තරය අයිතිවීම පිළිබදව කුකුසක් හිතේ පැන නැගුනි. ඒ් අනුව දිනක් ඔහු අමාරිස් විතාන මහතා මුණ ගැසී විමසා සිටියේ '' මුදලාලි මේ කැලැවට ඔබතුමා මොකද කරන්නේ?" යනුවෙනි. ඊට මුදලාලිගේ පිළිතුර වූයේ '' සර් මට කැලෑවලින් වැඩක් නෑ. මම කැලේ ශුද්ධකරල ගල් කඩන්න පටන් ගන්නව " යන්නයි.
මෙම පිළිතුරෙන් බලවත් වේදනාවට පත් රොහාන් ද සොයිසා මහතා ඒම මොහොතේ අහසේ පියාසර කරමින් සිටි සර්ප රාජාලියා පෙන්වමින් '' මුදලාලි අර බලන්න අර අහසේ පියාඹන කුරුල්ලගෙ නිවහන මේක. ඉතිං මුදලාලි කැලේ ශුද්ධ කළහම ඌ කොහේ යන්නේ ? " යනු වෙන් පිළිවිසීය.
ඊට මුදලාලිගේ ක්ෂණික පිළිතුර වුයේ '' ඒ්ක සර් එයාගෙ වැඩක්. මේක මගෙ වැඩේ" යනුවෙනි.
කොඩිගහකන්ද විනාශවන බව සක්සුදක් සේ පැහැදිලි වූ තැන නැවතත් සොයිසා මහතා අමාරිස් විතාන මහතාගෙන් විමසා සිටියේ මෙම වනාන්තර භුමිය තමන්ට විකුණා දමන ලෙස හා ඊට කැමති මිලක් නියම කරන ලෙසයි. මුදලාලිගේ පිළිතුර වූයේ '' මේක මම සල්ලි දීල ගත්තෙ ආයෙ විකුණන්න නෙමෙයි. කීයටවත් මෙක විකුණන්නෙ නෑ ''යන්නයි. 
සොයිසා මහතා නැවත නැවත පෙරැත්ත කිරීමේ ප්‍රතිඵලය ලෙස වනාන්තරයේ නැගෙනහිර බෑවුමේ කොටසක් විකිණිමට එකග විය. එහි ප්‍රතිඵලයක් ලෙස කොඩිගහකන්ද වනාන්තරය මිලදී ගැනීමට සොයිසා මහතාට හැකිවිය.
එතුමාගේ ඒ් සත් ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස කොඩිගහකන්ද වනාන්තරය අනාගත දරු පරපුරේ උරුමයක් ලෙස ජාතියට දායාද විය.

තවමත් අපි කොඩිගහකන්දේ ඉතිහාසය හාරා අවුස්සමින් ඉන්නෙ. 

S.F.ද සිල්වා හා කොඩිගහකන්ද

කවුද මේ S.F ද සිල්වා කියන්නෙ ? මෙතුමා භූගෝල විද්‍යාව පිළිබදව අපේ රටේ සිටි ඉහළම විද්වතෙක්. එතුමාගේ පොතපත තමයි භූගෝල විද්‍යාව හදාරන සිසුන්ට පෙළ පොත් ලෙස එවකට භාවිතා උනේ.



අද තර්ස්ටන් විද්‍යාලය ලෙස හදුන්වන එවකට රජයේ ගුරු විද්‍යාලයේ විදුහල්පතිවරයා වූයේ මෙතුමායි. එතුමා තම ගුරු සිසුට ශ්‍රී ලංකාවේ භූ රූපනය පිළිබදව ප්‍රායෝගික අධ්‍යාපනය ලබා දීමට ක්ෂේත්‍ර චාරිකා සදහා පැමිණි ස්ථානය කොඩිගහකන්දයි. එතුමා ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරය, සානු, නෙරු, මොහොර සහ ජලවහන රටාව පිළිබදව නිදර්ශන සහිතව මෙහිදී තම සිසුන්ට අවබෝධය ලබා දී ඇත්තේ කොඩිගහකන්ද සහ ඒ් සමග විහිදී ගිය කදු වැටියයි. 

ජලවහන රටාව

ශ්‍රී ලංකාවේ ජලවහන රටාව කොඩිගහකන්දේදී ආදර්ශනය කළ අයුරු

මධ්‍යම කදුකරයෙව් ඇරඹෙන ප්‍රධාන ගංගා වන් එතුමා පෙන්වා දී ඇත්තේ මෙසේය. මධ්‍යම කදුකරයේ පිහිටි සානුවක් ලෙස කොඩිගහකන්ද පාමුල පිහිටි සොයිසාවරුන්ගේ නිවාඩු නිකේතනය වූ '' උඩබංගලාව" ලෙස හදුන්වන වලව්ව පිහිටි ප්‍රදේශය ආදර්ශනය කර ඇත. එහිදී ප්‍රධාන ගංගා ආදර්ශනයකර ඇත්තේ මෙසේය.

1. නැගෙනහිරට ගලායන මහවැලි ගග එතුමා උපමා කළේ කොඩිගහකන්ද කදු වැටියෙන් ඇරඹී නැගෙනහිර දිශාවට ගලායන නාස් දොළයි ( එදවස මෙම දොළපාරෙන් අඩන ඇල්ල ලෙස මනරම් දිය ඇල්ලක් නිර්මාණය වී තිබුනි. අද එය විනාශය කරා ගමන්කරමින් තිබෙන්නේ ගල්කැඩීම හේතුවෙනි) 
2. දකුණට ගලායන වළවේ ගග එතුමා විසින් උපමා කළේ දිග්ගල දොළයි
3. නිරිතට ගලායන කළුගග උපමා කළේ පීලි දොළයි
4. බටහිරට ගලායන කැළණිගග උපමා කළේ  ටැංකි දොළයි
5. උතුරට ගලායන මල්වතු ඔය උපමා කළේ  තැඹිළි දොළයි




ඉතිහාසගත තොරතුරු රැසක් පැවතිය ද මෙම සටහනේ ඉතිහාසගත කථාව මෙතැනින් අවසන් කරමු.

 අසිරිමත් කොඩිගහකන්ද ... 2 පියවර තුළින් හමුවෙමු.


Comments

Popular posts from this blog

Who Are Earth Friends of Sri Lanka & Meaning of Green Earth

අසිරිමත් කොඩිගහකන්ද ... පියවර 03