අසිරිමත් කොඩිගහකන්ද ... පියවර 03

 අසිරිමත් කොඩිගහකන්ද ... පියවර 03

කොඩිගහකන්දේ වර්තමානය

කොඩිගහකන්ද තිරසර ලෙස සංරක්ෂණය කරනු වස් 1994.09.19 වන දින මිහිතල මිතුරෝ ආරම්භවිය. එතැන් සිට අඛණ්ඩව වසර 30 ක ගමනකින් පසු වර්තමානයේ කොඩිගහකන්දේ තත්වය කෙබදුද? 

කොඩිගහකන්ද ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ තවමත් එකම ප්‍රජා සංරක්ෂිත අභයභූමියයි.  එය දෙස් විදෙස් පරිසර ලෝලීන්ගේ සංචාරක ගමනාන්තයක්. පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු පරිසර ගවේශකයින්ගේ පර්යේෂණාගාරයක්. එය සොබාදහමේ විස්මිත නිමැවුමක්. කුඩා භූමි භාගයක කොළඹ නගරයට ආසන්නයෙන් පිහිටි විශ්වාස කළ නොහැකි තරමේ ජෛවවිවිධත්වයෙන් පොහොසත් වනාන්තර පරිසර පද්ධතියක්. ඇත්තෙන්ම මෙය පුංචි සිංහරාජයක්.

කොඩිගහකන්දේ මොනවද තියෙන්නෙ, මෙහි මොනවද කෙරෙන්නෙ?

කොඩිගහකන්ද ජෛවවිවිධත්ව මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙන සේවාවන් රාශියක් තියෙනව. ඒ් අතුරින ප්‍රධාන එකක් තමයි කොඩිගහකන්ද අභයභූමියේ සිදු කෙරෙන සංචරණය. අපි අද ඒ් ගැන මුළින්ම කථා කරමු. ඔබ  කොඩිගහකන්දට සංචරණය සදහා පැමිණෙන්නේනම් ඔබට ආරම්භයේ සිට අවසානය දක්වාම ස්වභාවික වනාන්තරයක අත්දැකීම විදගන්න පුළුවන්. මෙම අභයභූමිය ඇතුලෙ පාරවල් හදල නෑ. තියෙන්නෙ ස්වභාවික මංපෙතක් ( Nature Trail ) . ගල්මුල් සහිත ස්වභාවික මංපෙත සැබැවින්ම අපේ ජීවිතය වගේ. අභියෝග පිට අභියෝග. ගල් මුල් සහිත මෙම මංපෙත වික්‍රමාන්විත මංපෙත ( Adventure Track) ක්.





මෙම මංපෙත දිගේ විමසිල්ලෙන් ගමන් කරන ඔබ විවිධ කලාප පසුකර යනව. මුලින්ම හමුවන්නෙ බඹර කලාපය



බඹර කලාපය පහුකරගෙන ඉදිරියට ඇදෙන ඔබට ඊලගට හමුවන්නේ ''උල්කෙන්ද කලාපය" යි. උල්කෙන්ද කියන්නෙ අපට ආවේණික ශාකයක්. මෙහි පත්‍ර අගිස්ස කෙන්දක් මෙන් උල්වී තිබෙනව. ඒ හින්ද එම ශාක වලට උල්කෙන්ද කියල කියනව. බහුලව උල්කෙන්ද ශාක ඇති කලාපය උල්කෙන්ද කලාපයයි. 



උල්කෙන්ද කලාපයේ දී තවත් පරිසර පාඩමක් ඔබට ඉගෙන ගන්න පුළුවන්. 



මේ බලන්න මෙතන තියෙන කළුගල. ඒ් ගල මුළුමනින්ම මෙම පනාවැල් ( ඉත්තැවැල්) සහ ඒ්වායේ මුල් වලින් වැහිල තියෙන අපූරුව. මෙතැන මොකක්ද මේ සිදුවෙමින් තියෙන සොබාදහමේ ක්‍රියාන්විතය. මෙතැන මේ පාෂාණය ජීර්ණය වෙමින් පවතින්නෙ. මෙම වැල් වලින් වැටෙන කොළ සහ දඩු කැබලි ගල මත වැටිල දිරාපත්වෙමින් ක්‍රමාණු කූලව පාෂාණයත් ජීර්ණය කරමින් ඉතා සියුුුම් පස් ස්තරයක් නිර්මාණය වෙමින් තියෙන අපූරුව හොදට බලා ගන්න පුළුවන්. මෙයා සිදුකරන පාරිසරික සේවාව තමයි මේ පාෂාණය මත උපස්තරයක් ගොඩනගනව, වෙනත් බීජවලට රෝපණය වෙලා වැඩෙන්න පුළුවන් විදිහට. තැනින් තැන වෙරළු පැල පැළ වෙලා තියෙනවත් දකින්න පුළුවන්.  කාලයත් සමග මෙම පාෂාණය මත වෙනත් ශාක වැඩේවි. එවිට ඒ් සදහා තම කාර්යය නිහඩව සිදුකළ මේ පනා ශාකය මෙතැනින් සමුගෙන තියේවි. සොබාදහම අපිට උගන්වන්නෙ මහා පාඩමක්. 

පනා ශාකය හෙවත් ඉත්තැශාකය ගැනත් යමක් කියන්න අවශ්‍යයයි. මේ වැලේ රිකිල්ලක් කඩා ගත්තොත් ඒ් රිකිල්ල හරියට දැති දැති තියෙන පනාවක් වගේ ඒ්කයි ගැමියො මේකට පනාවැල් කිව්වෙ. තව කෙනෙකුට මේක ඉත්තැවෙකුගෙ කූරු වගේ පේන්නත් ඇති. ඒ්කයි සමහරු මේකට ඉත්තැවැල් කිව්වේ. 

මෙන්න අපි යන මගේ කුරුළු මවක් කුඩුවක බිත්තරයක් දමල. අපි එන සද්දෙට එයා කුඩුනේ ඉවතට ගියා.



එතැනින් සමුගෙන තවත් ඉදිරියට ඇදෙන අපිට ඊලගට මුණගැසෙන කලාපය තමයි " ECO ADVENTURE PARK" 


මේ තමයි ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තරයක පිහිටා තිබෙන එකම  Eco Adventure Park එක. 

 

මුලින්ම තියෙන්නෙ Tyre Ladder එක. ඒ්කෙන් මේ මාරු වෙන්නේ Toddy Tapper රා මදින්න් ගමන් කරන අතුරයි. ඒ අභියෝගය ජයගෙන ඊලගට පිවිසෙන්නෙ Jacobs Ladder  එකට. 


ඒ් අභියෝගයෙන් පසුව වැල් අතරින් රංගා විත් "Burma Bridge " එක තරණය කරනව.



ඊලගට කරන්නෙ අවකාශයට පනින එක. ඒ්කට අපි කියනව " Free Abseiling"  කියල.


අපි ඔබත් සමග ECO ADVENTURE PARK   එකේ ක්‍රියාකාරකම් ගැනයි කථා කළේ. අපේ ස්වභාවික මංපෙතේ ඇවිද යන චාරිකාවට ඒ් ක්‍රියාකාරකම් අදාළ නෑ. හැබැයි මේ ස්ථානයේම තමයි අපේ පළමු බාධකය හමුවන්නෙත්. ගල්මුල් වැල් අතරින් ගල මතුපිටට නගින අපිට ඊලගට තියෙන්නෙ අංශක 90 ක බෑවුමක්. උස අඩි 23 ක්. කොහොමද මේ පර්වතයෙන් බහින්නෙ. ඒ් තමයි අපේ අභියෝගය. හරියට ජීවි‌තේට එන බාධක වගේ. බහින්න බයයි. වැටෙයි. තුවාල වෙයි. ඒ් හින්ද අපි ආපහු හැරෙනවද? නෑ ජීවිතේ ආපහු හැරෙන්න බෑ. ඒ්වගේ තමයි මේකත්. මෙන්න මේවගෙ තැන්වලදි තමයි අපිට තව කෙනෙක්ගෙ උදව් අවශ්‍ය වෙන්නෙ. මීට ඉස්සෙල්ල මේ අභියෝගය සාර්ථකව පියමං කළ අයගෙ අත්දැකීම් අනුසාරයෙන් අපිට දෙන උපදෙස් හරියට පිලිපැද්දොත් මේ අභියෝගය අමාරු නෑ. සොබාදහම අපිට පිහිටට ඉන්න‍ව.  එයා අපිට අල්ල ගන්න මුල්, වැල් නිර්මාණය කරල තියෙනව. මගපෙන්වන්නන්ගෙ උපදෙස් අනුව අපිට හරිම පහසුවෙන් මේ අභියෝගය ජය ගන්න පුළුවන්.


ගලට නැගල වැල් අතරින් රිංගාගෙන යමින් ...





පළමු බාධකය ජය ගනිමින් ...

එතැනින් අපි පිවිසෙන්නෙ තවත් අළුත් කලාපයකට ඒ් " හේන් කුට්ටිය " කලාපය.


මේ ප්‍රදේශයේ අපිට හේන්කුට්ටිය ගස් දකින්න පුළුවන්. තව ඉදිරියට යායුතුයි. තවත් පුධාන බාධක 3 ක් පියමං කරන්නත් තියෙනව. අගේ ගමනාන්තය කොඩිගහකන්ද ත්‍රිකෝණමිතික ස්ථානය. තව ඒ් සදහා දුර යායුතුයි.  අපි මෙතැන ටිකක් නැවතිලා තොරතුරු කථාබහ කරල ඉදිරියට යමු. 


ඔය තියෙන්නෙ සැප පහසුවට ශිලාමය අසුන් පනවල...

අපි හේන්කුට්ටිය කලාපයේ නැවතිලා ගිමන් හරිමින් කොඩිගහකන්ද පිළිබදව බොහෝ තොරතුරු කථාකරන කොට අපි බැස්ස ගලේ මොනවාදෝ සවිකරල තියෙනව පෙනුනා. අපි ඒ් ගැන විමසිලිමත් උනා. මොනවද මේ ගලේ හයිකරල තියෙන්නෙ. අපි ඒ් ගැන ඇහැවුවෙ Climb Lanka ආයතනයේ අධ්‍යක්ෂ සචිත් සමුදිත මහතාගෙන්. සචිත් සමුදිත කියන්නෙ මිහිතල මිතුරෝ සංවිධානයේ උප සභාපති තුමා. 
'' Rock Climbing කියන්නෙ සහභාගිවන්නන්  ස්වාභාවික පාෂාණ සැකැස්මක හෝ කෘතිම කඳු නැගීමේ බිත්ති හරහා නැඟී සිටින ක්‍රීඩාවක්. බොහෝ විට ඉලක්කය වන්නේ වැටීමෙන් තොරව මාර්ගයක හෝ නිශ්චිත අන්තයක මුදුනට ළඟා වීමයි. එය ශාරීරික ශක්තිය, මානසික අවධානය සහ ගැටළු විසඳීමේ සම්මිශ්‍රණයක්. "
Rock Climbing කිව්වහම ඒ්කෙ ප්‍රභේද ගොඩක් තියෙනව. ඒ් ගැන කියන්න ගියොත් ඒ්ක ලොකු විස්තරයක්. ඒ් ගැන වෙනම අපි ඔබට ඉදිරිපත් කිරීමක් කරන්නම්. මෙතැන තමයි මේ ක්‍රීඩාවට ආධුනික ( Beginners) ක්‍රීඩකයන් සදහා වේ ස්ථානය. වයස් බේදයක් නැතුව කැමති අයෙකුට මෙය කරන්න පුළුවන්.

ඔන්න අපි නැවත ගමන් ආරම්භකළා. සියොතුන්ගෙ මිහිරි ගී රාවය විදගනිමින් ඉදිරියට ඇදෙන අපි මේ පිවිසෙන්නේ ''රදලිය කලාපයට"


රදලිය කියන්නෙ වැල් වර්ගයක් . වටිනා ඖෂධීය ශාකයක්. අපේ නඩේ ගුරා රදලිය ගැන ලොකු විස්තරයක් කියන්නයි හදන්නෙ. 

ඊට ඉස්සෙල්ල නඩේගුරා වෙච්ච සදරුවන් අපෙන් තේරවිලි අහපි.

1. කැලේට පෙට්ටිය මොකක්ද?

2. කැලේට ලිය මොකක්ද ?

3. කැලේට කෙන්ද මොකක්ද ?

4. කැලේට කුට්ටිය මොකක්ද ?

ඉතිං පුළුවන් කෙනෙක් උත්තර දෙන්න. 

අපි රදලිය ගැන ටිකක් කථාකරමු . නඩේගුරා රදලිය ගැන ලොකු විස්තරයක් කිව්ව. ඒ්ක හැකිතාක් කෙටිකරල ඔබට කියන්නම්.

රදලිය (Radalida / Ixora coccinea) යනු ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ඖෂධීය ශාකය්. මෙය දේශීයවම වර්ධනය වන අතර, එහි ඖෂධීය ගුණ හා ආකර්ෂණීය පුෂ්පය නිසා වඩාත් ප්‍රසිද්ධයි.  රදලිය ශාකය ආයුර්වේද ඖෂධවල බොහෝ ප්‍රතිකාර සඳහා භාවිතා වෙනව. 

  1. පටස්සන්ධි රෝග සඳහා:
  • ශරීරයේ සන්ධි වේදනාවන් සහ ආබාධයන් සුව කිරීමට භාවිතා වේ.
  1. විෂ නාශක:
  • රුධිරය පවිත්‍ර කිරීමට සහ ශරීරයේ විෂ දෝෂ නාශය සඳහා.
  1. මළපහදීම:
  • එහි කොළ හා මල් මළපහදීමේ ගුණයන් ඇති බව වාර්තා වේ.
  1. කැඩුම් පත්තු වැනි තුවාල:
  • එහි පටක සෛල අලුත් කිරීමේ ගුණය නිසා කුඩා කැඩුම් සහ තුවාල සුුව කිරීමට උපකාරී වේ.
 අපි කණ්ඩායම රදලිය කලාපය පහුකරගෙන මේ පිවිසෙන්නෙ තවත් කලාපයකට ඒ් '' මුනමල් කලාපය"


 මූනමල් කලාපයේ දී අපට මූනමල් දකින්න පුළුවන්. මූනමල් කියපු ගමන් අපිට මතක්වෙන්නෙ දත්. දත් ශක්තිමත්ව තියා ගන්න උපකාරිවන දෙයක් හැටියට මුනමල් කා අතරත් ප්‍රසිද්ධයිනෙ. සදරුවන් මූනමල් ගැන අපිට කියන්න පටන් ගත්ත.  '' මූනමල් (Mūnamal / Mimusops elengi) , ශ්‍රී ලංකාවේ ආයුර්වේද පද්ධතියේ ප්‍රසිද්ධ ඖෂධීය ශාකය්. මූනමල්, "Bullet Wood" යන නාමයෙන්ද හඳුන්වන අතර සෞඛ්‍ය, සෞන්දර්ය, හා පාරිසරික ප්‍රයෝජන සඳහා වඩාත් ප්‍රසිද්ධයි. 

  • මූනමල් ගස සාමාන්‍යයෙන් මීටර් 10-20 ක් දක්වා උසට වැඩෙයි.
  • සුදු පැහැති, සුවඳවත් මල් ඇත.
  • පුෂ්පයන්ට වාසිදායක සුවඳක් ඇති අතර, සෞන්දර්යමය අගය සඳහා ප්‍රචලිතය.
  • මෙහි ඵලය වෙරළු ගෙඩියකට වඩා කුඩා වන අතර කොළපැහැතිය. ඉදුනුවිට කහපැහැති වන අතර රසවත්           පළතුරකි
  • මූනමල්වවලඖෂධීය ගුණ

    ආයුර්වේද චිකිත්සාවේ මූනමල් ශාකයේ සියලුම කොටස් — කඳ, කොළ, මල්, හා ඵල භාවිතා වේ. මෙහි ප්‍රධාන ඖෂධීය ගුණ:
    දන්ත සහ මුඛ ආරෝග්‍යය:

    • මූනමල් කඳේ පොතු මුඛ ආශ්‍රිත ආබාධ වලට ප්‍රතිකාර වේ.
    කායශක්ති හා ශක්ති වර්ධනය:
    1. මූනමල් පටක ශක්තිමත් කිරීම හා ශක්ති වර්ධනය සඳහා භාවිතා වේ.

    කුෂ්ඨ රෝග:
    • කුෂ්ඨ රෝග සහ සක්මන රෝග සඳහා එහි කඳේ ගුණ පවතින බව පැරණි වෛද්‍ය අරීක්ෂණවල සඳහන් වේ. (''සක්මන රෝග" යනුවෙන් ආයුර්වේදයේ (පෞරාණික වෛද්‍ය විද්‍යාවේ) සඳහන් වන්නේ සන්ධි, මස්පේෂි, හා ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සහ ආබාධයයි. මෙය මනාව අදහස් කළේ ශරීරයේ චලන හැකියාවට බලපාන රෝග වර්ග වලටය

  • අපි මූනමල් කලාපයෙන් නික්මී පහළට ගමන්කරමින් සිටියෙමු. පනාවැල් ගාලක් ඒ් මැද්දෙන් කොන්ද නමාගෙන බඩ ගාගෙන එන කොටයි හිතුනෙ අපේ ඇගේ නමන්න දිගාරින්න කොච්චර සන්ධි තියෙනවද කියල. එක අතකින් ඒ් සන්ධි වලටත් හොද ව්‍යායාමයක්.                                                                                                                                                                                                        මූනමල් කලාපයෙන් පසු අප පිවිසෙන්නේ '' කර කලාපයට" කර කියන්නෙ පිෂ්ඨය අධික පත්‍ර සහිත ශාකයක් වලගම්බා රජු සමයේ වසර 14 ක විශාල නියං සමයක් ආවකියල ඉතිහාසයේ කියැවෙනව ඒ්කට බැමිනිතියා සාය කියල කියනව. රහතන් වහන්සේලා ජීවිතය රැකගෙන ඇත්තේ කර කොළ වළදල කියල මහාවංශය කියනව. ඒ්කට හේතුව තමයි, ශුෂ්ක පරිසර තත්වයන්ට මුහුණ දී නොනැසී පවතින්නට ''කර" ශාකයට ඇති සුවිශේෂි හැකියාව.                                       මෙතැනින් තමයි අපේ දෙවන බාධකය ඇරඹෙන්නෙ. ගල්පර්වතයේ බෑවුම  දිගේ ගල දෙසට මුහුණ දී පසු පසට ගමන්කරමින් මේ බාධකය ජයගත යුතුයි.
    අපි මේ බාධකය ජය ගෙන හෙමින් හෙමින් පිය මනිමින් ඉදිරියට ඇදෙමින් සිටියෙමු. අපි ඉදිරියේ දිස් වූයේ අපූරු දසුනකි.
                                වනාන්තරයේ පිපී තිබුන ''පොසොන් මල්" උඩවැඩියා විශේෂයක්                                                                                                                                                                                                                           අපි මේ පිවිසෙන්නේ  '' හොර කලාපයටයි " 
  • ''හොර" ශාකය පිළිබදව හුගක් දෙනෙක් දන්නව. අපේ රටට ආවේණික ශාකයක් වන හොර ශාකය තනි කෙලින් ඉහළට ඇදෙන වනාන්තරයක නෙරු ස්තරය නියෝජනය කරන ප්‍රමුඛ ශාකයක් . හොර (Hora / Dipterocarpus zeylanicus) යනු ශ්‍රී ලංකාවේ ආවේණික ශාකයක් වන අතර, මෙය Dipterocarpaceae පවුලට අයත් ගස් විශේෂයකි. හොර ගස ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිවල, විශේෂයෙන් සීතාවක ආශ්‍රිත තෙත් කලාපයේ සහ කඳුවැටි වනාන්තරවල බහුලව වර්ධනය වන, වටිනා විශේෂයකි.  හොර ගස දරුවන් අතර ප්‍රසිද්ධ '' හොර කුරුල්ලා" ලෙස හදුන්වන හොර බීජය නිසාය. සුළගේ පියඹා යා හැකි වන සේ සැකසුන පියාපත් වැනි පත්‍ර දෙකක් දරා සිටින හොර බීජය සුළගින් ව්‍යාප්ත වේ. 

  • තව දුර යායුතුයි. අද දවසට නවතින්නම්. ඉක්මනින් පියවර 04 න් මුණ ගැසෙමු.

  • Comments

    Popular posts from this blog

    Who Are Earth Friends of Sri Lanka & Meaning of Green Earth